Header Ads

සළු උනා සිය නග්න කය කලාවට මිල කරන අය - Those naked body Price


අෑ සළු උනා දමමින් උන්නාය. දැන් අෑ නග්නය. ඉනික්බිති මා ඒ ගැන කතා කළ යුතුය. ගැහැනියක සිය සළු උනා දමා නග්න වූ පසු ඒ ගැන කතා කිරීම මා වැනි වූ පත්තරකාරයකුට සුදුසුදැයි මම නොදනිමි. නමුත් ඇගේ නිරුවත ගැන මා ලිවිය යුතුය.
ඇය එකින් එක සළු උනා දමනායුරු මම නොදකිමි. ඒ දෙස බලන්නට කිසිවකුට වරම් නැත. ඇය සළු උනා දමන්නේ තනිවමය. දැන් අෑ නග්න සිරුරේ නිරුවත වැසෙන්නේ අෑ හැඳි කුඩා කෙටි කලිසමෙන් පමණි. දෙපියයුරෝද ඇතුළු ඇගේ සියොලඟ නිරුවත්ය. ඇය ඒ වත මත දැවැටූ රෙදි කඩක් පමණක් සහිතව ගමන් කරමින් හිඳී. මේ අතරතුර තිසරුන් දෙදෙනකු රිද්මයට සැලෙමින් හිස ඔසවමින්ද එබෙමින්ද විය. තවත් සැඟව හිඳීමෙන් කුමන පලදැයි සිතන්නාක් මෙන් උන් නිරන්තරව එබි එබී බලයි. මේ තිසරුන් අයිති අර නග්න ගැහැනියටය. අෑ උන් එබෙනු දැක හෝ නොදැක, සළු පට ඉවත් කරයි. ඇගේ ගමන නැවතුණ පසු තිසරුන්ද අවට වූ විහඟ ගී අසන්නා සේ ද, ඇය නැවත උන් තැන වූ පිළිරුවක සිරි නරඹන්නා සේද බලා හිඳී. දැන් මේ නිරුවත් ගැහැනිය ලෑලි බංකුවක් මත වාඩි ගනී. ඉනික්බිති.
නෝනාවරුනි මහත්වරුනි මේ කතාව මින් ඉක්බිති, ඔබට කුමක් සිතේ ද? මේ මනුෂ්‍ය වර්ගයාගෙන් ගැහැනියක නිරුවත් වූ මුල්ම දිනය නොවේ.
තහනම් උයනේ දී 'ආදම්' සහ 'ඒව' තහනම් ගහේ ගෙඩි කෑ පසු ඕනෑ තරම් ගැහැනුන් නිරුවත් වී ඇත. එදා නිරුවතින් උන් 'ඒව' ගෙන් පසු පොදුවේ ගත් කල ගැහැනියක නිරුවත් වූයේ එකම රාමුවක් යටතේ වූ කාර්යයකටය. මේ කතා කරනුයේ ද එවන් වූ කාර්යයක් ගැන ද! එවැන්නක් සඳහා නිරුවත් වූ ගැහැනියක ගැන මා ලිවිය යුතු ද! නැත. එසේනම්...?
දැන් අප කතා කරනා නග්න ගැහැනිය එක්තරා කුටියක විය. ඇය හා රමණය කරන්නකුට මෙහි ඒ සඳහා සයනයක් නැත. ඇය වාඩි වී ඉන්නේ ලෑලි බංකුවක් මතය. මේ කුටිය වෙත එබෙනා රැවුල් කොණ්ඩා වවාගත් එකෙකි. වයස අවුරුදු විසි දෙකක් හෝ තුනක් විය හැකිය. ඔහු බලන්නේ අෑ දෙසය. ඇගේ පියයුරෝද, නිරුවත් දෙකළව ද ඔහුගේ බැල්මට නාභිගත නොවෙයි. ඔහු නිරුවත් ගැහැනිය වටා වූ හිස් පුටුවක වාඩිවෙයි. ඉනික්බිති ගැහැනියකගේ නිරාවත ද ඒ අභිමුව ඉන්නා තරුණ වයසේ කොල්ලකු ද ගැන මා ලිවිය යුතුය.
නැත අෑ වටා වූ හිස් පුටු පිරෙයි. කෙල්ලෝ ද කොල්ලෝද දහයක පහළොවක රෑනක් දැන් අෑ වටා වෙති. මේ කිසිවකුට ඇඟේ නිරුවත අරුමයක් නොවේ. සළු පැලැඳි ගැහැනුන්, දෑසින් නිරුවත් කරනා මිනිස් සමාජයේ මේ තරුණයෝ ඇගේ නිරුවත දෙස නිරුවත් දෑසින් නොබලති. පුදුමයකි. ඔබට එසේ නොසිතේ නම් එයද පුදුමයකි.
දැන් නිරුවත් වූ ගැහැනිය ලෑලි බංකුවක් මත වාඩි වී සිටී. ඒ වටා වූ පිරිස පුටුවල වාඩිවී මේස මත වූ කොළ දෙස බලමින්ද ඒවා සකසමින්ද සමහරු අඳිමින් ද වෙති. මෙය වනාහී පන්ති කාමරයකි. එහි ගුරුවරයකු ද සිටී. මේ කොළඹ නගරයයි. නග්න ගැහැනියක වට කොට ගත් ගුරුවරයෙක් සහ සිසු සිසුවියෝ පිරිසක් මෙහි වෙති.
මෙහි අධ්‍යයනාංශ නවයකම මේ කාර්යාවලිය මෙලෙසම සිදුවෙයි. මෙය වනාහී මිනිස් සිරුර යොදා ගෙන කෙරෙන්නා වූ අධ්‍යයන කාර්යයකි. නමුත් මෙය කිසිසේත්ම වෛද්‍ය විද්‍යාත්මක කාර්යයක් නොවේ. වෛද්‍ය විද්‍යාලයක් ද නොවේ. මෙය හුදෙක් සුන්දරය කිවමනා ස්ථානයකි. විශ්වවිද්‍යාලයකි.
අපි කතාකරනුයේ ඒ නිරුවත ගැනය. මම ප්‍රශ්න කරමි. ඒ නිරුවත් වූ ගැහැනියගෙන් නොවේ. ඒ නිරුවත් නොවූ මිනිසුන්ගෙන්ය.
ඇත්තටම මනුස්සයෙක් තමන්ගේ ජීවිතේ ඇතුළෙ මේ විදියට නිරුවත අධ්‍යයනය කරනවය කියන එක සිද්ධ වෙන්නෙම නැති තරම් නේද?
"සාමාන්‍ය සමාජය ඇතුළෙ කාන්තාවක් නිරුවත් වුණාම අපි ඒක දකින්නේ සමාජ ප්‍රශ්නයක් විදියට. ඒත් මෙතැනදී අපි මේක දකින්නෙ අධ්‍යයයන කාර්යයක් විදියට. සාමාන්‍ය සමාජය ඉන්න ළමයි තමයි මෙතෙන්ට එන්නෙ. එහෙම එන අය මීට කලින් මෙහෙම නිරුවත් රූපයක් දැකල නෑ. අපි පළමුවැනි අවුරුද්දෙම මුලින්ම මෙහෙම අඳින්න දෙන්නෙ නෑ. ක්‍රමිකව තමයි මේකට හුරු කරවන්නෙ.
ඒ වගේම තමයි මේ තනතුරට කියන්නෙ 'ආදර්ශ රූප සේවක තනතුර' කියලා. ඒකට සම්මුඛ පරීක්ෂණයට එන හුඟක් අය දන්නෙ නෑ මොකද්ද මෙතැන වෙන්නෙ කියලා. අපි ඒ ගැන කියපුවම හුඟක් අය කරන්නෙ හැරිලා යන එක. මේක සමාජයට අරගෙන ගියාට පස්සෙ ඒක සමාජීය ප්‍රශ්නයක්. ඒත් මෙතැන ඇතුළෙ එහෙම නෑ. මේ තුළ තියෙන උප සංස්කෘතියක් තියෙනවනෙ. ඒ උප සංස්කෘතිය ඇතුළෙ හදාගන්නව වෙනම ක්‍රමවේදයක්. එයා දිහා ඉතා මානුෂිකව බලන්න.
කිසිම විදියකින් කිසිම ශිෂ්‍යයෙක් විහිළුවක් කරන්න හෝ ඉන් එහාට යන්නෙ නෑ. කවදාවත්ම එහෙම වෙන්නෙ නෑ.
අන්න ඒක තමයි මට තියෙන ප්‍රශ්නෙ කොහොමද තමන් නිරුවතින් දැකපු ගැහැනියට අඩුම තරමෙ විහිළුවක්වත් නොකරන ක්‍රමවේදයක් හදන්නෙ.
"අපි හැමතිස්සෙම දකින්නෙ ඒක එයාගෙ වෘත්තිය. අපි එයාව වෘත්තිකයෙක් විදියට දකින්න ඕන. රස්සාවක උස් පහත් බවක් නෑ. තියෙන්නෙ ඒ කරන ක්‍රමවේදයෙ වෙනසක්. මේ පිරිස අපිට විශාල සේවයක් කරන පිරිසක්. හතරවැනි වසරේ ශිෂ්‍යයෙක් අඳින විත්‍රයකින් ඊට අදාළ පුද්ගලයාව අඳුනගන්න පුළුවන්. ඒ චිත්‍රය අයිති වෙන්නේ ඒ ශිෂ්‍යයාට. ඒ ශිෂ්‍යයා ඒ චිත්‍රය රැගෙන යනව.
නමුත් සමාජයේ සාමාන්‍ය වශයෙන් නිරුවත දකින එකයි, නිර්මාණයක නිරුවත දකින එකයි අතරේ වෙනසක් තියෙනව. අපිට 'රෆායල්' ගෙ චිත්‍රයක් දැක්කට එහෙම දෙයක් ඇතිවෙන්නෙ නෑ. එයා 'දෙව්මැඳුර' සිත්තම අඳින්නෙ නිරුවත දේවත්වයට පත් කරල. 'ඩේවිඩ්' ඉන්නේ නිරුවතින්. කලා කෘතියක් රසවිඳින විදියට නෙමෙයි. සාමාන්‍ය නිරුවත රස විඳින්නෙ. උසස් පෙළ චිත්‍ර ඉගෙන ගන්න ළමයෙක් හැම තිස්සෙම ඔය චිත්‍ර ටික බලනවා. පාසල තුළ නිරුවත් රූපයක් ළමයින්ට පෙන්නීම කියන කාරණාවේ සදාචාරාත්මක ප්‍රශ්නයක් තියෙනවා. ලිංගිකත්වය කියන්නේ හැඟීමක්නෙ. අපි බොහොම මෑතක් වෙනකම්ම හිටියෙ උඩුකය නිරුවතින්.
සමාජය ඔය කාරණාව දිහා බලන විදියෙ වෙනසක් තියෙනවා. නිරුවත කියන එක ගැන විශාල ගැටුම්කාරීත්වයක් ඇති නොවන තත්ත්වයට චිත්‍ර කරන ළමයෙක්ගෙ මානසිකත්වය මුල සිටම හදනවා. ගැහැනු ළමයි පිරිමි ළමයි එකට අඳිනව. ඉන්න කෙනා නිරුවත්ව ඉන්නෙ. අපි තත්ත්වයක් නිර්මාණය කරගන්නව මේක හුදෙක් අධ්‍යයන කාර්යයක් විතරයි කියල. මේ තුළ දිගු කාලයක් වැඩ කරපු අයත් ඒක දන්නව. මේක වෛද්‍ය ශිෂ්‍යයොත් කරනව. නිරුවත් සිරුර අධ්‍යයනය කරන එක. ඒත් කලා කටයුත්තක් නිසා මේක වෙනස්. කලා කටයුත්තක් විදියට මේක බොහොම සංවේදී දෙයක්. රූපණ ශිල්පියා හෝ ශිල්පිනියත් බොහොම සංවේදීයි, ශිෂ්‍යයොත් එහෙමයි. ඒ අයගෙ තියෙන්න ඕන මනා සංයමයක්.
අපිට මේකෙ ඉතිහාසය ගත්තම රෆායල්, ඩාවින්චි, ඇන්ජලෝ වගේ බොහෝ අය මෙහෙම ඇඳල තියෙනවා.
ශ්‍රී ලාංකේය සාමාන්‍ය සමාජයට මේ නිරුවත් චිත්‍ර දිහා
සංයමයකින් බලන්න හුරුවක් තියෙනව ද?
ඇත්තටම කියනව නම් උත්තරය තමයි නෑ කියන එක. මේ විදියට කෙරෙන කලා කෘතියක් පිට සමාජයේ අලෙවි වෙන්නෙ බොහොම කලාතුරකින්. ඒ වගේම මේ කෘතියක් වෙළෙඳපොළට යන්නෙත් නෑ. අනෙක් කාරණාව නිරුවත් කලා කෘතියක් තමන්ගෙ බිත්තියේ ගහන්න නම් ටිකක් දඩබ්බර ආත්මශක්තියක් ඕන. අනික ඒ කෘතිය බිත්තියේ ගහනව කියන දෙයට වඩා ඉන් ඔබ්බට ගිය සමාජයේ සිතිවිලි ගැන හිතන්න ඕන.
අපේ විහාර සිතුවම් කලාවේ පවා තියෙනව නිරුවත් චිත්‍ර. නිරුවත කියන එක තියෙන්නෙ. සමාජයේ මිනිසුන්ගේ ඇස්වල.
එක වතාවක් ලංකාවේ සූදානමක් වුණා කාන්තාවො කොටට අඳින එක තහනම් කරන්න.
කාන්තාවකගේ කකුලක් කියන එක ලිංගික අවයවයක් විදියට ලේබල් එක අලවන්නෙ කවුද? මේ හරහා ඊළඟ සමාජ කණ්ඩායම හිතන්නෙ කාන්තාවකගේ කකුලක් කියන එක ලිංගික උපකරණයක්. මේ වරද කරන්නේ සමාජයේ මේ දැක්ම ඇතිකරන අය. ඇත්තටම නුවර යුගයේ කාන්තාව උඩුකය නිරුවතින් ඉන්න එක ගැන ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. ලෝක දේශපාලනය කතා කරද්දී නිර්වචනයක් තියෙනව මිනිස්සු හැම තිස්සෙම ධනයට බලයට සහ ලිංගිකත්වයට නිසර්ගයෙන්ම ආශා කරනව. ඒව අපි අලුතෙන් වර්ධනය කරගන්න ඕන දේවල් නෙමෙයි.
වෙන කතාවක් කියනව නම් සීගිරි චිත්‍ර මොනවද? සීගිරි චිත්‍ර කියන්නෙ මෙයට වඩා අතිශය ගෘංගාරාත්මක චිත්‍ර. සීගිරිය බලන්න ගියා කියල සංස්කෘතික ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ.
සීගිරි චිත්‍රයක් ගෙනල්ල බම්බලපිටියෙ පාර ඉස්සරහ ගැහුවත් කාටවත් ප්‍රශ්නයක් නෑ. ඒක සංස්කෘතික කරලයි තියෙන්නෙ.
ඔය කියන ප්‍රශ්නය ප්‍රංශෙ ඇතිවුණා. අර කලින් කීව වගේ දේවත්වය ආරෝපණය කරල ඇ¼දපු චිත්‍ර සමාජගත කළා. මේව නිරුවත් චිත්‍ර. ඒ හරහා සමාජයේ දැවැන්ත පුපුරා යෑමක් වුණා. සාමාන්‍ය මිනිසුන්ගෙ නිරුවත් රූප බිත්තිවල ගහනව. ප්‍රංශෙ විශාල සමාජ ප්‍රශ්නයක් වෙනව. නමුත් කාලයත් එක්ක සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. අපි අදත් මේ ලිංගිකත්වය අපේ අධ්‍යයනයක් විදියට හදාරනව. අපිට සමාජ ප්‍රශ්නයක් තියෙනව තාමත් අපි ඉන්නව ඒ රාමුවෙ.
ඇත්තටම ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙනෙක් අධ්‍යයනය කරල මානව රූපෙ නිවැරැදිව අඳින්න බෑ. සාමාන්‍යයෙන් චිත්‍රයක් අඳින්න ගියාම අපිට බලාගෙන අඳින්න දෙයක් නෑනෙ. ඉතින් මේ රූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් කරන්නෙ විශාල සේවයක්. අපි නම් පිළිගන්නෙ මේ ලංකාව වගේ සංස්කෘතියක මේක කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර අය ඉන්නව ළමයි මේ කරන කාර්යයට ඉතාමත්ම ආසයි.
ඒ වගේමයි ළමයින්ටත් නීතිරීති තියෙනවා. මොන හේතුවක් නිසාවත් ඒ අයගෙ ඡායාරූපයක් ගන්න බෑ. පිට කෙනෙක්ට ඇතුළු වෙන්න බෑ. විහිළු තහළු කරන්න බෑ. විශාල ලෙස ගරු සැලකිලි සහිතව තමයි ඒ අයට සලකන්නෙ. ඇත්තටම මේක ගෞරවනීය වෘත්තියක්. මේ අයගේ මේ ක්‍රියාදාමය හරහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබෙන්නේ විශාල සහයෝගයක්. උදව්වක්.
මේ කතා බහ පෙර කී නිරුවත් ගැහැනිය ගැනය.
ඇගේ සිත්තම ඇඳ නිමවූ පසු ඕ යළි සළු ඇඳ ගති. එනමුදු ඒ සුදු කොළ මත ඇගේ නිරුවත් රුව සිත්තම්ව ඇත. මේ සිසු සිසුවියෝ සළු ඇඳි ගැහැනියගේ නිරුවත නොදකී. සැබෑවටම මෙය වනාහී චිත්‍ර කලාවේ උන්නතිය උදෙසා කෙරෙන පින්සාර නිරුවත් වීමකැයි සිතමි.
මෙසේ නිමාවූයේ ප්‍රථම කතාවයි. මේ නිරුවත් වෙන ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ දෙවැනි කතාවක් ද ඇත. ඒ දෙවැනි කතාව වෙනුවෙන් අපි බලා සිටිමු.
කතාව - ජීවන පහන් තිළිණ
Mawbima, 2013
සළු උනා සිය නග්න කය කලාවට මිල කරන අය - Those naked body Price සළු උනා සිය නග්න කය කලාවට මිල කරන අය - Those naked body Price Reviewed by vijitha on 11:25:00 PM Rating: 5

No comments

Featured Posts

[Video][feat1]