හඳ පායන්නේ, පෑයිය යුත්තේ හන්තානට පමණද?
Liyanage Amarakeerthi | ලියනගේ අමරකීර්ති
සහවේදනීය පරිකල්පනය ගැන සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ නොයෙක් දේ කතා වේ. යම් සමාජයක සිටින ආන්තිකකරණයට ලක් වූ ජනයා, පීඩිත ජනයා සම්බන්ධයෙන් සහවේදනීය වශයෙන් පරිකල්පනය කිරීමේ හැකියාව සාහිත්‍යය මගින් වර්ධනය වේ. සාහිත්‍ය රසාස්වාදනයේ එක්තරා තලයකදී මෙය ද ඉතා වැදගත් දෙයකි. එහෙත් ආන්තිකකරණයට ලක් වූ පිරිස්වල පීඩීතභාවය පිළිබඳ සහානුකම්පික සහවේදනය එක්තරා තලයකදී බොහෝ ගැටලු සහගත දෙයක් වන්නට ද පුළුවන. අපේ රටේ ශාස්ත්‍රාලික සාහිත්‍ය අධ්‍යයනය බොහෝ විට පවතින්නේ මේ සහවේදනීය තලයේය. පුවත්පත්වලත්, විවිධ රසවින්දන වැඩසටහන්වලත් සාහිත්‍ය කියවීම පවතින්නේ මේ මට්ටමේය. මේ ගැටලුව ගැන අවධානය යොමු කළ හැකි ගීතයක් රසිකයන් අතර බොහෝ ජනප්‍රිය වී ඇත.
ඒ "හන්තානය පායන සඳ" ගීතයයි. මෙය මගේ ද ප්‍රියතම ගීතයකි. එය ලියා ඇත්තේ ධම්මික බණ්ඩාරය. ඔහු ලියන බොහෝ ගීත මගේ ප්‍රසාදයට හේතු වී තිබේ. ඔහු සිය ගීතවලදී භාවාතිශය භාෂා රූපකය වෙනුවට වැඩි වශයෙන් භාවිත කරන්නේ ඉතා සියුම් ජීවන අවස්ථාවකි. භාෂාමය රූපකයක් නොව ව්‍යූහමය රූපකයකියි කියන්නට පුළුවන. ආරියවංශ රණවීර සිය කවිවලදී නිතරම භාෂාමය රූපකය අතහැර ව්‍යූහමය රූපකය භාවිත කරයි. ඔහුගේ ප්‍රසිද්ධ කෙටි කවියක් වන මේ කවිය බලන්න:
සසර
මලක
මෙළෙක මත
නිල මැස්සෙක්
මල් ශාලාවක
මෙහි භාෂාත්මක සැරසිලි කිසිත් නැත. එය කවියෙන් ගොඩනැගෙන අවස්ථාවම රූපක ගුණකියන් යුක්තය. කලාත්මක රූපකය යනු හුදෙක් භාෂාත්මක දෙයක් පමණක් සේ ගැනීම වැරදිය. මෙටෆර් හෙවත් රූපකය යනු කවියා කරන ව්‍යූහමය සැකැස්ම ද අයිති වූවකි.
ධම්මික බණ්ඩාර ගීත බොහෝ ගීත රචනා මෙවැනි ස්වරූපයක් ගනියි. හන්තානට පායන හඳ ගීතය ද එවැනිය.
හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න
අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න
ලතා මඬුලු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුළි කර
මහවැලියට දමන්න
මේ ජනප්‍රිය ගීතය ගී රස වින්දන වැඩසටහන්වලදීත් නිතර සාකච්ඡා වේ. විවිධ ස්ථානවලට ගී වින්දන වැඩසටහන් රැගෙන යන ගීත විශේෂඥයෝ ද මේ ගීතය ගැන කතා කරති. අමරසිරි පීරිස් ප්‍රසංගවලදී මේ ගීය ගයන ඇතැම් විට එහි පසුබිම විස්තර කරනු ද මා අසා ඇත.
මේ ගීතය පිළිබඳ පවත්නා පොදු මතය මෙසේය: මෙය උසස් නිර්මාණයකි. යෞවන පෙම්වතියක් සරසවි වරම් ලබයි. ඇගේ පෙම්වතාට ඒ වරම නැත. තමා වෙත වූ ආදරය නිසා ඇයට සරසවියේදී බොහෝ දේ අහිමි වී යතියි පෙම්වතා සිතයි. සරසවියෙන් ලැබිය යුතු බුද්ධිමය සහ භාවමය අලෝකයෙන් කිසිවක් හෝ ඇයට අහිමි වී යනු දැකීමට ඔහු කැමති නැත. සරසවිය පෙම්වතුන්ගේ පාරාදීසයක් ද වේ. තමා නැතිකමින් සරවියේදී ඒ අත්දැකීම විඳින්නට ද ඇයට අවස්ථාව නැත. ඇය පමණක් සරසවි වරම් ලැබීම නිසා ඇය සහ තමා අතර දැවැන්ත පරතරයක් ඇති වී තිබෙන බව ඔහු දකියි. ඒ නිසා ඔහු ඇයට කියන්නේ තමා ගැන මතකය ඉවතා ලා සරසවියේදී තමාගෙන් තොර ජීවිතයක් ගොඩනගා ගන්නා ලෙසයි.
තම පෙම්වතියන් අධ්‍යාපනයෙන් හෝ වෘත්තීයමය වශයෙන් ඉදිරි පියවරක් තබන විට කලබලයට පත්වන පෙම්වතුන් ඉතා හිංසක පියවර ගන්නා අවස්ථා අපට අසන්න ලැබේ. ඇතැම් අය්යලා සරසවියට තේරෙන ආදර නංගිලාට හිංසා කරන, පිහියෙන් අනින හැටි අපි දැක ඇත්තෙමු. එවැනි පසුබිමක මේ ප්‍රේමවන්තයා කරන පරිත්‍යාගශීලී ප්‍රකාශය අපේ අනුකම්පාව ද ආදරය ද දිනා ගනියි.
මෙම ගීතය පිළිබඳ අදහස් පළ කරන සෑම දෙනාම පාහේ උක්ත කාරණය දකිති. යෞවන පෙම්වතියන්ට එරෙහි පෙම්වතුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා ද ලිංගික ආක්‍රමණ ද ඉතා අධික වී ඇති මෙකල මේ ගීතය ද ඒ ගීතය පිළිබඳ සාකච්ඡා ද වැඩි වී තිබේ.
එහෙත් මේ ප්‍රේමවන්තයාගේ පරිත්‍යාගශීලී ප්‍රකාශය අගය කරන අය නොඅසන ප්‍රශ්නයක් ඇත. ඒ ප්‍රශ්නය ඇසීමට ගීතය පිළිබඳ ගැඹුරු තලයක කියවීමක් කළ යුතු වේ. එහෙත් සරල ප්‍රශ්නයකින් ඒ තලයට වහා යා හැකිය. සරසවි වරම් ලබන තරුණියකට ඒ නිසාම පෙම් වරම් අත්හරින්නට සිදු වන්නේ ඇයි? තමාට ලබා ගත නොහැකි වූ සරසවි ප්‍රවේශය තම පෙම්වතිය ලබාගත් නිසාම තරුණයෙකුට පෙම්වතියම පරිත්‍යාග කරන්නට සිදු වන්නේ ඇයි? පෙම්වතිය පමණක් උසස් අධ්‍යාපන වරම් ලැබූ විට සම්පූර්ණ සම්බන්ධතාවම නවත්වන්නට සිදුවීම සැබෑ ලෝකයේදී එතරම්ම සිදු නොවන්නට පුළුවන.
එහෙත් මේ ගීතයෙන් ඇඟවෙන්නේ සැබෑ සමාජ ආතතියකි. මේ ආතතිය පිළිබඳ බොහෝ නිර්මාණ නිමා වන්නේ මේ ආතතිය පැන නගින සමාජ දේශපාලන ව්‍යූහය වැඩිමනත් ප්‍රශ්න කිරීමකින් තොරව බාරගනිමිනි. මේ වෙන්වීම ආදර්ශවත් යෞවනයෙකුගේ පරිත්‍යාගශීලි ක්‍රියාවක් සේ දකින බොහෝ දෙනෙක් ද මේ දෙදෙනාගේ වෙන්වීම යථාර්ථයක් බවට පත් කර ඇති සමාජය ගැන කිසිවක් නොකියති.
යෞවන පෙම් යුවළක පෙම්වතිය උසස් අධ්‍යාපන වරම් ලැබූ විට ඇයට කැම්පස් යන්නට බැරි වුණ පෙම්වතා අත අරින්නට සිදූ වී ඇත්තේ ඇයි? කැම්පස් යාම සහ ආදරය අතර නොවැලැක්විය හැකි සම්බන්ධයක් තිබේද? කැම්පස් යාම නිසාම ඇය සහ ඔහු අතර යා කළ නොහැකි පරතරයක් ගොඩ නැගේද? එසේ ගොඩනැගේ නම් එය ඇති වන්නේ කවර අන්දමේ සමාජ පරිසරයකද?
අපි සංයුක්ත ප්‍රශ්නයකට යමු: ඒ තරුණයාට මෙසේ කියන්නට බැරි ඇයි? "ඔයා කැම්පස් යන්න. එහෙ තියෙන හොඳ දේවල් ඔක්කොම උකහා ගන්න. මට කැම්පස් යන්න බැරි උනා තමයි. නමුත් කැම්පස් කියන්නෙ එක දෙයක් විතරයි. ඒ නිසා මම වඩුවැඩ ඉගෙන ගෙන වඩුවෙක් වෙන්නම්. අපේ ගෙදරට ඕනෙ ලී බඩුත් මම හදන්නම්. ඔයා කැම්පස් ගිහින් ආවාම අපි බඳිමු."
මෙවැනි දෙයක් කී අර වැනි පෙම්වතුන් ඉතිහාසයේ සිටින්නට ඇත. එහෙත් එය සාමාන්‍ය තත්වය නොවේ. සාමාන්‍ය තත්වය විය හැක්කේ පෙම් යුවළ හෝ ඔවුන්ගේ වැඩිහිටියන් එක් වී සම්බන්ධය නතර කර දැමීමයි. ඒ ඇයි? ඊට හේතුව උපාධි දරණ අය සහ නොදරණ අය අතර සමාජ පරතරයක් තිබීමත්, ඒ පරතරය නොවැලැක්විය හැකි, 'ස්වභාවික' පරතරයක් සේ පිළිගැනීමත්ය. කැම්පස් ආ කෙල්ල 'ඇහැට කනට පේන' කෙල්ලක නම් අර පෙම්සබඳතාව තිබෙද්දීම කැම්පස් ආවත් ඈ වෙත ආකර්ෂණය වූ කැම්පස් අය්යා කෙනෙකු ඇයට කියන්නට ඉඩ ඇත්තේත් ඇය වඩාත් ගැලපෙන්නේ උපාධියක් ද හිමි තමාට බවයි. අර ගීයේ එන තරුණයා සිය තීරණය ඇයට දන්වන්නේ මෙවැනි අය්යලා කැම්පස් ඉන්නා බව දන්නා නිසාද විය හැකිය.
මෙසේ මෙම ගීය පිළිබඳ දෙවැනි තලයේ කියවීමකට ගිය විට, එනම් මතුපිට අර්ථය ඉක්මවූ කියවීමකට ගිය විට, රචකයා ප්‍රශ්න නොකර භාරගන්නා සමාජ යථාර්ථය අපට හමුවේ. මේ ගීතය පැනනගින්නේ ඒ ප්‍රශ්න නොකරන පදනම මතිනි. ඒ පදනම නම් උපාධිධාරී ස්ත්‍රිය සහ උපාධිනොධාරී පුරුෂයා අතර ප්‍රේමසම්බන්ධය හෝ විවාහය අසාමාන්‍ය එකක්ය යන්නයි. එනම් උපාධිධාරී රජයේ නිලධාරිනියක හා වඩුකාර්මිකයෙකු අතර ප්‍රේමයක් යනු සාමාන්‍ය දෙයක් නොවේ. අප නිදහස් අධ්‍යාපනය යනුවෙන් රැක ගැනීමට දිවි දෙන ආයතනය විසින් සමාජ පරතරයක් ද නිර්මාණය කර ඇත.
ඇතැම් විට සාපේක්ෂ වශයෙන් විශිෂ්ට කලාකෘති පිටුපස වුවද අලංකාරිකවලින් වැසී අවිශිෂ්ට චින්තන පදනම් තිබෙන්නට පුළුවන.
හඳ පායන්නේ, පෑයිය යුත්තේ හන්තානට පමණද?
Reviewed by vijitha
on
11:17:00 PM
Rating:
No comments